ඔබගේ ගැළවීමට මග වන්නේ මනස්ථාපනයයි.

12 – මාර්තු – 2020

“මුළු ලෝකයේම සෑම දේශයක්ම නියෝජනය කරන නායකයින් වෙතයි.තම දේශය උදෙසා, තමා දේශයට නායකයෙක් නම් තමා විසින් ජනතාව උදෙසා කුමක්ද කර ඇත්තේ? තමා විසින් ජනතාව උදෙසා කුමක්ද කරමින් සිටින්නේ? ජනතාව තමාව නායකත්වයට පත්කළේ කුමක් සඳහාද? ජනතාව තමාව තෝරා ගැනීමේ දී තැබූ විශ්වාසයට තමා නිසි පිළිතුරු දී තිබෙනවාද? දේශ නායකයිනි, ඔබගේ හෘද සාක්ෂියට එකඟව ඔබ මොන යම් ධර්මයකට අනුකූලව ජීවත් වුවත් ඔබ ඔබවම පරීක්ෂා කර බලන්න යැයි මම මේ මොහොතේ ප්‍රකාශ කරමි. මක්නිසාද අද ලෝකයේ ජනතාව දෙස මඳක් හැරී බලන්න.ලෝක වාසී සියලු ජනතාවට මා විසින් ප්‍රකාශ කරන මේ දෙයට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබගේ ගැළවීමට මග වන්නේ මනස්ථාපනයයි. ඔබ මෙයින් බේරෙන්නට නම්  ඔබගේ ජීවිතය දෙස ආපසු හැරී බලා මනස්ථාපනය වී, ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීම තුළ ඔබට ගැළවීම ලැබිය හැක.”

“රාජ්‍ය නායකයිනි, දහම් නායකයිනි, සියලුම නායකවරුනී, මූලිකත්වය ගෙන කටයුතු කරන සියලුම ජන දරුවෙනි, ලෝකයට වෙමින් පවතින විපතක මහත.මක්නිසාදයත් විපත් කල්හි තම තමා තම තමාව දැකීමෙන් සිත් හැරීමෙන් ජීවිත වෙනස් කර නොගතහොත් ඔබගේ ඉරණම භයානක වනු ඇත. මිනිසුන් අතර නොමිනිසුන් නොවන්න. ඔබ මනුෂ්‍යයෙක් නම්, මනුෂ්‍යත්වය දරාගෙන පැමිණියේ නම් ඒ මිනිසත්භාවය තුළ සැබෑ මනුෂ්‍යයෙක් බව වටහා ගන්න. ලෝකයට පෙනෙන්නට ඔබ කිසියම් දහමක් අයිති කරගෙන ඇති. ඔබගේ ඇතුලාන්තය තුළ, ඔබගේ ජීවත්වීම තුළ ඔබ කවුද කියා වටහා ගැනීමට කාලයයි, දැන්. ආත්මාර්ථයේ යදම් බිඳ දමන්න. මේ තාක් විපත් පැමිණ ඇතත් කිසිම රාජ්‍යයක් මේ භීතිය තවම වටහා ගෙන නොමැත. මෙය මෙතැනින් නිමා නොවනු ඇත. දැන් ඉතින් මුළු විශ්වයම පවිත්‍ර කිරීම මේ විනාශයන් තුළ ආරම්භ වෙමින් පවතී. එම නිසා ඔබ ඔබව ගළවා ගැනීම උදෙසා කුමක් කළ යුතු දැයි මෙනෙහි කර බලන්න.”

“අහෝ ! ශ්‍රී ලංකා රාජ්‍ය ජනතාවෙනී, රාජ්‍ය පාලනය කරන නායකයිනි, දැන් ඔබ එක් රැස් විය යුත්තේ ඔබගේ බලය ලබා ගැනීම පිණිස නොවේ. එය පසෙකට දමන්න. ඔබ කෙරෙහි විශ්වාසය තබමින් ජනතාව ඔබව අද උසස් කොට ඇත. ඒ විශ්වාසය මේ මොහොතේ ඔබ රකින්නේ නම් ඔබගේ දේශපාලන ජීවිතය නොව බල ලෝභය නොව ඒ සියල්ල පසෙක තබා සියලුම ජනතාව වෙත හැරී බලන්න. ඔබ ගත යුතු පියවර ගන්න. පළමුව ඔබ ඔබවම පරීක්ෂා කොට බලන්න, ඔබ කොතැනද සිටින්නේ. මෙය ධන බලයෙන් ගළවාගත හැකි තැනක් නොවෙයි. රාජ්‍ය බලයෙන් හෝ මුදල් බලයෙන් කිසිවක් කළ නොහැක.මේ විශ්වය දෙස බලන්න. ඔබලා තුළ අපවිත්‍ර වෙමින් පවතින ඔබලාගේ ඇතුලත තිබෙන හෘද සාක්ෂිය නමැති ගෘහය පවිත්‍ර කර ගැනීමේ මොහොතයි, මේ. අවදි වන්න. මනස්ථාපනය වන්න. මේ පණිවුඩය සියලුම දහම්වලට පොදුය. මෙය එකම දහමකට කොටු වී කතා කරන පණිවුඩයක් නොවන්නේය. මෙය මුළු මිනිස් වර්ගයා උදෙසා ප්‍රකාශ කරන්නා වූ මහා පණිවුඩයයි. සෑම රාජ්‍ය නායකයින් ඇතුළු මුලු මිනිස් ජනතාවම එකතු වී ඔබ එකිනෙකා අදහා ගන්නා වූ, ඔබ එකිනෙකා වැළඳගෙන තිබෙන්නා වූ ඒ ධර්මයට අනුකූලව ඔබගේ ජීවිත හැඩ ගස්වා ගන්න.”

“සභා ශ්‍රේෂ්ඨයිනි, ඔබ කොතැනද සිටින්නේ? ඔබ දේව වචනය ලෝකයට ප්‍රකාශ කරන්නට ඇප කැප වී සිටින්නෙහි නම් ඔබ මේ මොහොතේ කිසිවෙකුට ඇඟිලි දික් නොකරන්න. මක්නිසාදයත් ඔබ සැම සියළු දෙනාම පාපයේ ඇලී ගැලී ඇත. කිසිවෙකුවත් නිවැරදි තැනට ඇවිත් නැත. නොමිනිසුන් අතරට නොවැටෙන්න. මිනිසත්භාවය ලත් නියම මනුෂ්‍යත්වයෙන් පෙනී සිටින්න.”

“ඔබ ඔබගේ ශරීරය තුළ ශක්තිමත් නම්,නිවැරදි නම්, නිවැරදි මනසකින් නම් නිවැරදි ස්වරූපයකින් පෙනී සිටින්නේ නම්, ඔබට මොන විපත් පැමිණුනත් ඔබ ගළවනු ඇත. පියාණන් මුළු විශ්වයටම අධිපති වූ තැනැත්තේ මුළු විශ්වය දෙස බලා සිටිනු ඇත.එම නිසා අවදි වන්න. තම පරපුර උදෙසා ලෞකික වස්තුව රැස් නොකරන්න, තමා උදෙසා රැස් නොකරන්න. ඔබ දැනුම ලත් දේ තුළ ඔබ ඔබගේ ප්‍රේමයේ පණතට ඇතුල් වන්න. ඒ මහා ප්‍රේමය කිසිවෙකුවත් රිද වන්නේ නැත. ඒ ප්‍රේමය නම් එකා මෙන් එකමුතු වෙමින් සියලු දෙනාම එක්සිත් වීම තුළ විශ්වයම එකම රාජ්‍යයක් බවට පත්වීමයි. ඒ මහා බලය තුළ ඒ යහපත් ගති පැවතුම් තුළ, නිහතමානීකම් තුළ, ඉවසීමෙන් සහ ප්‍රඥාවෙන් යුතුව ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නෙහි නම් ඔබත් ගැළවී ඔවුනුත් ගැළවෙනු ඇත. ජාති ආගම් කුල භේද නොමැත.සියල්ලෝම එකට එක්ව මේ පැමිණ තිබෙන්නා වූ භයානක ව්‍යසනයෙන් මිදෙන්නට නම් ඔබ හැම කෙනෙක්ම ආපසු හැරී බැලිය යුතුයි. මනස්ථාපනය අත් දැකිය යුතුයි. කාලයෙන් කාලයට මනුෂ්‍යයාට සමාව දෙමින් බලා සිටින තැනැත්තේ ඔබ සැම පරීක්ෂණය කරනු ඇත. ඔබගේ මනස්ථාපනය තුළ, මේ හැම අනතුරක්ම පියාණන් විසින් ලොවට ඒවා තිබෙන සියල්ල ආපසු ගන්නට පුළුවන. එය සිදුවන්නේ ඔබගේ මනස්ථාපනය මතයි. තුනෙන් දෙකේ පවිත්‍ර කිරීම අද වේගයෙන් ඇරැඹී ඇත. ගිය වර්ෂයේ පටන් ගනු ලැබුවේ ද මෙවැනිම කාලයකදීය. එදත් මා ප්‍රකාශ කළා ඊළගට පැමිණෙන කාලය ඊට වඩා බිහිසුණු බව. දිනෙන් දින ජනතාවට අමාරුම කාල වකවානු එනු ඇත. බොහෝ දේ අහිමි වනු ඇත. එය මෙතනින් නිමා නොවනු ඇත. ඔබ හුරුවී ඇති ඔබගේ සැප පහසු ජීවිතයට මෙතැන් පටන් විඳවීමේ කාලයකට මුහුණ දෙන්නට සිදු වනු ඇත. මක්නිසාද ඊළඟට පැමිණෙන්නේ මුදල් තිබුන ද ආහාරපාන වත් ගන්නට බැරි මොහොතකි.”

“තද කුණාටුව ආරම්භ වී ඇත.පියාණන් විසින් නිර්මාණය කර නිමවන ලද මේ විශ්වයේ  අහස්කුසේ පවා බොහෝ දේවල්වලින් මනුෂ්‍යයාට අමාරු වන තැන් පැමිණෙනු ඇත. එය ද දැන් සිදු වෙමින් පවතී. තව වසර කිහිපයකින් ශ්‍රී ලංකා දේශයෙහි  මුහුදු සීමාවන් තුළ සිටින ඒ පවුල් ඉවත් කරන්න යැයි රාජ්‍ය නායකයින්ට මම අණ කරමි. මක්නිසාද ශ්‍රී ලංකා භූමියෙන් තුනෙන් එකක් මුහුදුබත් වන්නට නියමිතව ඇත. එයද සිදුවන්නේමය. එම නිසා ක්‍රමයෙන් බිහිසුණු තත්වයක් උදාවෙමින් පවතින නිසා, මා ප්‍රේමවන්තවූ මාගේ දරුවෙනී, මේ පණිවුඩය ඔබ ගැඹුරින් ඇහුම්කන් දී අයිති කර ගතහොත්, මේ පවසන්නේ කාටද කියා ඔබම මෙනෙහිකර ගතහොත්, ඔබට තේරෙන බසින් අන් අයටත් පහදා දී, මනස්ථාපනයට සියල්ල යොමු කරමින් සියල්ල ගළවා ගැනීමට ඔබට හැකි වනු ඇත.”

“දහම් නායකයිනි, සභා නායකයිනි, මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ජනතාව ඔබගේ වදන් තුළින් පෝෂණය කරමින්, අද ජනතාව හසුවී සිටින මේ භයානක රැල්ලෙන් මුදවා ගන්නා ලෙසයි. ආගම් භේද පැතිරවීම නොවෙයි, එකිනෙකා ඇන කොටා ගැනීම නොවෙයි, එකිනෙකා විවේචනය කිරීම නොවෙයි, උද්ඝෝෂණ කිරීම නොවෙයි රටක් හැටියට රාජ්‍යයක් හැටියට ආගම් නායකයින් හැටියට රාජ්‍ය නායකයින් හැටියට සියලුම නායකත්වය දරන නායකයින් හැටියට ඔබ නිවැරදිව බලන්න, ඔබගේ යුතුකම නොපිරිහෙලා ඉටු කොට තිබෙනවාද යන බව. ඒ වගකීම ඔබ ඔබටම වාසි වන අයුරින් යම් යම් දේ කර තිබෙනවාද? එසේ නම් නැවත මා ප්‍රකාශ කරනවා මනස්ථාපනය වන්න, එසේ නොවුනහොත් ඔබට වෙන දේ ගැන ඔබවත් නොදනී.”

“මුළු ලෝකයටම පැමිණ තිබෙන මේ ව්‍යසනයෙන් බේරා ගන්නට සෑම කෙනෙක්ම එකමුතු වන්න. රාජ්‍ය නායකයින් ගැන ජනතාව තුළ පැහැදීමක් ඇති වන්නට නම් ඔබ සියල්ලෝම ඒකරාශී වෙමින් එකමුතු වෙමින් ගත යුතු තීරණයක් ඇත. මෙවැනි මොහොතක බලය ගැන වාද කිරීම නොව, එය පසෙකලා, ඒ සියල්ල පසුවට දමා දැන් ඔබ කළ යුත්තේ මෙයින් මුළු මිනිස් ජනතාව ගළවා ගැනීමට තම තමා කළ යුත්තේ කුමක්ද කියා සාකච්ඡා කිරීමයි. අවදි වෙන්න.මේ පැමිණ තිබෙන්නේ තීරණාත්මක මොහොතකි. ඇහුම්කන් දෙන්න. ලෝකය දෙස මදක් හැරී බලන්න. විපත්ති කාලයක් පැමිණෙමින් ඇත. එම නිසා දැන්ම සූදානම් වන්න. එයයි, ඔබ සැමගෙන් මා බලාපොරොත්තු වන්නේ.”

“ගිහි දරුවෙනී, ඔබ ඔබගේ කුරුසිය රැගෙන යන්න. වැටි වැටී නැගිටින්න. ඔබගේ ජීවිත පැවැත්ම තුළ ඔබ ඔබගේ කුරුසය දමා යනවාද? නැතිනම් වැටි වැටී එය රැගෙන යනවාද? සියලුම දහම් නියෝජනය කරන දරුවෙනී, ඔබ නියෝජනය කරන ඔබගේ දෙවිඳුන් ගිය මග කුමක්ද? මෙනෙහිකර බලන්න. සෑම කෙනෙක්ම ආගම් හෝ ජාති භේදයක් නොමැතිව අත්වැල් බැඳගත යුතු මොහොතයි, දැන්. රෝගවලට බිය නොවන්න. මනස්ථාපනය තුළ ලෝකයම ගැළවීම ලබනු ඇත. ඔබ නිවෙස්වලට වී මොරගැසීම, යාච්ඤා කිරීම අරඹන්න. ඔබගේ දහමට අනුකූලව නිවෙස් තුළ සිටිමින් ඔබ ගත කළ යුතු ජීවිතය කුමක්ද? ඔබ සූදානම්ද? ඔබ අවට සිදු වන දේ ගැන මෙනෙහි කරන්න. ඔබ මිනිසුන් අතර නොමිනිසුන් නොවන්න. මිනිසුන් අතර මිනිසුන් වන්න. මනුෂ්‍යයෙක් වන්න. කිසිවෙකු හා උරණ නොවන්න. කලකෝලහාල ඇති කර නොගන්න. එකිනෙකාට ප්‍රේම කරන්න. එකිනෙකාට ආදරය කරන්න. ඔබ ලද දේ අන් අය හා බෙදා ගන්න. අද එවැනි තැනක ඔබ සිටින්නේ නම් ලෝකය මීට වඩා ආරක්ෂා වනු  ඇත. මෙහි භයානකම තැන මෙය පියාණන් විසින්, මේ විශ්වය නිර්මාණය කළා වූ තැනැත්තේ විසින් ජනතාව උදෙසා පෙනී සිටින ජනතාවගේ බලයෙන් ඉදිරියට ඇවිත් සිටින අය දෙස බලා සිටීමයි. එසේ බලා සිටින පියාණෝ, ජනතාවට යහපත නොකරන නායකයින් උදෙසා දඬුවම් ලබා දෙන සේක. මක්නිසාදයත්, අහෝ! පාපයක තරම. එකිනෙකාව විවේචනය කරමින් එකිනෙකාව නිරුවත් කරන රාජ්‍ය නායකයිනි, ඔබටත් නොදැනී ඔබම නිරුවත් වී ඇත. අවදි වන්න. අසරණ ජනතාවට වඩා, ජනතාවගේ බලයෙන් බලයට පත් වූ සියල්ලන්ට මේ මහා භයානක විපත් වලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. එම නිසා සියල්ලෝ කතා කොට ගත යුතු පියවර ගන්න.ඔබ යදින යාතිකා ගයන ගීතිකා දැවෙන දුම් පූජා ඔබගේ පියාණන්ට ඔප්පු කර සිටින්න. මේ සෑම දේ තුළම මහා පවිත්‍ර කිරීම වේගයෙන් සිදුවනු ඇත.ආමෙන්.”

මා,

ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.