“විශ්වීය නිර්මාතෘවරයාණන් වන පියාණන්ගෙන් ලද,දෙවි වූ ස්වාමීන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබන මේ මහා ගැඹුරු පණිවුඩයට සවන් දෙන මෙන් මම ඉල්ලා සිටිමි.මා ප්‍රේමවන්ත වූ දරුවෙනී,ලෝ වැසි සියලු ජන දරුවෙනී,මා ප්‍රකාශ කරන්නා වූ මේ වදන් තුළ දහම් භේදයක් නොමැත.සියලු දෙවිවරුන්ගේ දෙවිවරුන් ඇතුළු,ඒ සියල්ලට අයිති සියලු දූ දරුවෙනී, ඔබ මොන දහමක සිටියත් ඔබ සැබෑම මනුෂ්‍යයෙක් නම්,ජාති,කුල සහ ආගම් භේදයක් නොමැතිව,සියල්ලෝම එකම ජාතියක් වනු ඇත.එනම් ඔබ සැබෑම මනුෂ්‍යයන්ය,මනුෂ්‍ය ජාතියට අයත් මනුෂ්‍යයන්ය,මනුෂ්‍ය දූ පුතුන්ය.ඔබ හැම කෙනෙක් තුළම තිබෙන්නේ ඇට මස් ලේ නහරවලින් සෑදුණු දෙවියන් විසින් නිර්මාණය කළා වූ මහා වෘක්ෂයක් වැනි,සැබෑ වූ ප්‍රඥාව තුළ මොනයම් දෙයක් හෝ කරන්නට හැකි අවයවයන්ගෙන් පරිපූර්ණ වූ මනුෂ්‍යයෙකි.මනුෂ්‍යයෙනි, ඔබ කිසිවෙක් හා කිසි දිනෙක කිසි විටෙක උරණ නොවන්න.මක්නිසාද ඔබ ඔබ දෙසම හැරී බලන්න.අද බොහෝ උගතුන්ය බුධිමතුන්ය කියා ගන්නා අයගෙනුත් මා ඉල්ලා සිටින්නේ ඔබ ඔබ දෙසම හැරී බලන ලෙසයි.තමා තමාව දකිනා කල,අවංකව හෘද සාක්ෂියට එකඟව තමාව පරීක්ෂණය කරන කල, තමා සිටිනා තැන තමාටම අවබෝධ වනු ඇත.තමා වටා තිබෙන ආත්මාර්ථයේ යදම් බිඳ දමන්න.තමා ආශා කරන සියල්ලෙන් හිස් වන්න.තමාගේ අයිතිවාසිකම්වලට මරණයක් වන්න.සෑම මනුෂ්‍යයෙක්ම තමා තමාව සාදා ගන්නා කල ලෝකය සුන්දර කරන්නට පුළුවන.දහම් නායකයින් ගත්තත් මොනම දහමක සිටියත්,ජාති, කුළ, ආගම් භේද ආරම්භයේම ගෙනැවිත් නොමැත.ලෝකය තුළ හැදෙමින් වැඩෙමින්, එයින් ලබනා ආභාෂයන් සමග ඔබ ලබා ගන්නා දේ තුළ ඔබ පාපයට ඇතුල් වන්නෙහිය.මම මුළු විශ්වයටම ආදරය කරන දෙවියෝ වෙමි.දෙවිවරුන් අතර භේද නැත.ඒ හැම කෙනෙක්ම සාමකාමීව එකමුතු වූ දේව සභාවක් ඇත.නමුත් ඒ දෙවිවරුන්ව අයිති කරගෙන ජීවත්වෙන, කොටස් බෙදී වෙන්කරගෙන සිටින,ජාතී බෙදා වෙන්කරගෙන සිටින, ජනතාව වෙතයි මාගේ මේ පණිවුඩය.ලෝක වාසී ජනතාවෙනි අවදි වන්න.මක්නිසාද ඔබටත් නොදැනීම පාපය ඔබ වටකර ගෙන ඇත.ආත්මිකව ඔබ කොතැනද,ඔබ මොන ආත්මයක්ද කියා ඔබ ඔබගේ ආත්මයෙන් විමසා බලන්න. ඔබ තව කෙනෙකුට අවවාද දීමට හැකි, තව කෙනෙකු ගළවාගෙන ඉදිරියට යන්න හැකි කෙනෙක්ද කියා, ඔබ දෙසටම හැරී බලන්න”.
“සියලුම සභා නායකයිනි,ආගම් නායකයිනි, ඒ දහම් නායකත්වය තුළ ඔබ ඔබ දෙස හැරී බලන්න. පළමුවෙන්,ඔබ නායකයෙක් වීමට පෙර ඔබ එයට සුදුසුකම් ලබන්නේ කුමක් සඳහාද?ඔබ සැබෑම නායකයෙක් වන්නෙහිද?ඔබගේ කැඳවීම තුළ, ඔබගේ තෝරා ගැනීම තුළ, ඔබ ජීවිත කීයක් ගොඩනගා තිබේද? ගළවාගෙන තිබේද? කොපමණ ජීවිතවලට ඔබ යහපත් ධර්ම නායකයෙක් වී සිටිත්ද? මේ ලෝකය තුළ ඇති භයානක බව දැන දැනත්, ඒ භයානකකමින් ලෝවැසි ජනතාව ගළවා ගන්නට,දූ පුතුන් ගළවාගන්නට, තමා විසින් කුමක් කර තිබේද? මදක් තමා තමා දෙස හැරී බලන්න.තමා ආත්මාර්ථයට ගොදුරක් වී තිබේද? තම ආශාවන්ට ගොදුරක් වී තිබේද? තම අයිතිවාසිකම්වලට ගොදුරක් වී තිබේද? තමා ජීවත් වෙන්නේ ඒ සියල්ලම නැති කරගෙන ,සියල්ලෙන්ම හිස්වද? එසේ නම් මේ දේ ඔබ තුළ තිබේ දැයි මෙනෙහිකර බලන්න.කතා කරන්නට කටක් නැති,අයිති කරගන්නට අත් නැති,ඇවිදයන්නට හෝ පැනදුවන්නට පාද නැති,කෙළින් යන්නටවත් කොඳු ඇට පෙළක් නැති,පහර දීමට දත්,දළ,නිය නැති, පණුවෙක් මෙන් ඔබ ජීවත් වන්නෙහිද? ඔබ සැබෑ දහම් නායකයෙකු නම්, ඔබ සැබෑ දහම් මාර්ගයේ ගමන් කරන දූ දරුවෙක් නම්, ඇහුම්කම් දෙන්නට කන් දෙකක් නැති, කතා කරන්නට කටක් නැති,ඇවිදයන්නට පාද නැති,දඟලන්නට කොඳුඇට පෙළක් නැති, පණුවෙක් මෙන් ඔබ සිටිත් නම්, ඔබ ස්වාමින්වහන්සේට, ඔබ ඔබගේ දහමට අනුකූලව,ප්‍රසන්න චරිතයක් වනු ඇත.ඔබට නියම වූ කාල සීමාවන් නිමා කොට මේ පොලෝ තලයෙන් සමුගත් කල ඔබට හිමි තැන ඔබ තෝරාගෙන තිබේද?”
“දේශපාලන නායකයිනි,රාජ්‍ය නායකයිනි,දේශයන් බෙදාගෙන සිටින දේශ නායකයිනි, ඔබ සැමටයි මේ පණිවුඩය.දෙවියන්වහන්සේ සුන්දර වූ ලෝකයක් මවා,සුන්දර වූ සොබා දහමක් තුළ, ලස්සන පොලෝ තලයක් තුළ, මනුෂ්‍යයාට අවශ්‍යය කරන ඒ සෑම සියළුම දේ සපුරාලූ, අහස,පොළොව, ඉර,සඳ,තරු,සතා සිව්පාවුන්,ගහකොළ,ඇළ,දොළ,ගංගා, මනුෂ්‍යයා මේ සෑම සියලු දේ කිසිම අඩුවක් නැතුව නිර්මාණය කළා වූ, අතී උතුම් ලෝකය නිර්මාණය කළා වූ, තැනැත්තේගේ ඉහළින් ආ පණිවුඩයයි,මෙය.මනුෂ්‍ය ජීවිතය මෙවලමක් කර ගනිමින් මේ මහා පණිවුඩය ලෝකයට දානය කරන්නට මම සිතුවෙමි.සියල්ලෝ අවදි විය යුතු මොහොතයි දැන්.තමා තමාව දැකිය යුතු මොහොතයි දැන්.සියලු ආශාවන්ගෙන් හිස්ව,සියලු අයිතිවාසිකම්වලින් හිස්ව,තම කැමැත්තට මරණයක් අත් දකිමින්,එකිනෙකා හා අත්වැල් බැඳගනිමින්, අනෙකාගේ දුක තමාගේ දුක කරගනිමින්, තව කෙනෙකුගේ සතුටේ දී සතුටුවෙමින්, දුකේ දී දුක් වෙමින්,ජීවත් වන්නා සැබෑ වූ මනුෂ්‍යත්වය ඇති තැනැත්තා වන්නේය.දේව රාජ්‍යය තිබෙන්නේ එතැනය. ඔබ මේ ලෝකය තුළ මොන නායකත්වයකට පොර බැදුවත්, මොන ධන සම්පත් රැස් කෙරුවත්, මොන පිළිගැනීම් ලැබුවත්,මොන ගෞරව නාම ලැබුවත්, ඔබට ඒ සියල්ල මේ ලෝකය තුළ පමණි.මක්නිසාද මොන දහමක ජීවත් වුණත් සියල්ලෝ මේ ලෝකය හැර යන දිනට, තෝරා ගන්නට දෙපළක් ඇත.තමා රැස් කර ගත්තා වූ යහපත් දේ හෝ අයහපත් දේ රැගෙන ස්වර්ගයට හෝ නිරයට යා යුතුමය.දේව නීතියට අනුකුළව දඬුවම් ලබමින්, මහා වැළපීම් මැද, ඒ මහා පවිත්‍රකරණයට නතු විය යුතුමය.මෙලොව සුර සැප අත් හැර දෙවියන්වහන්සේ හෝ අනෙක් දෙවිවරුන් පෙන්වූ මග ඔස්සේ හෝ ඔබ නිවැරදිව ගමන් කරන්නෙහි නම්, නිවැරදි දහම තෝරා ගන්නේ නම්,නිවැරදිව ජීවත් වන්නේ නම් මේ ලෝකයේ පාපයේ බර අඩුවනු ඇත.ඔබට මේ ලෝකය හැර ගිය දිනට,යහපත්ව සදාතනික ජීවිතය ගත කරන්නට තැනක් හිමි වනු ඇත.ජාති,ආගම්,කුල භේද මතුකර ගනිමින්, අනෙකා විනාශ කරමින් තමා ඉදිරියට යන්නට වෙර දරන්නෙහිද, තව කෙනෙක් තමාට වඩා වැඩිදියුණු වෙනවාට ඊර්ෂ්‍යා වන්නෙහිද, ක්‍රෝධ වන්නෙහිද, මා ප්‍රේමවන්ත දරුවෙනි, එය සැබෑ ධාර්මික ක්‍රියාවක් නොවන්නේය.තමාට වඩා අනෙකා උසස් වෙනවා දැකීම තුළ, ඔබ තුළ ප්‍රීතියක් හට ගන්නේ නම්, සැබෑ මනුෂ්‍යයත්වය ඔබ තුළ දිස්වෙනවා ඇත.තව කෙනෙකුගේ දුක තමාගේ දුක කර ගන්නේ නම් දේව අනුගාමිකයෙකුද ,දෙවියන්වහන්සේට ප්‍රසන්න දරුවෙකුද වනු ඇත. ඉඩකඩම් යාන වාහන ගේ දොර නිසා හරි හම්බකරගත් දේ සඳහා ඔබ සියල්ල තමා මතම රැස් කරගන්නට,තමාටම එකතු කරගන්නට වෙර දරන්නෙහි නම්, ඔබ වටා අශුද්ධ ආත්ම ඒකරාශී වනු ඇත.එසේ නම් යක්ෂයාගේ රාජ්‍යය එතැන වන්නේය.අපි යක්ෂයාට ඉඩ නොතබමු.අධර්මය පරාජය කරමු.අනෙකාට වින නොකරමු.එකිනෙකාට ප්‍රේම කරමින්, අත්වැල් බැඳ ගනිමින් ලෝ වැසි ජනතාව මුළු විශ්වය කොටස් කර නොගෙන, සියල්ලෝම එක පවුලක දරුවන් මෙන් ඒකරාශී වන මෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිමි.”
“සැබෑ නායකයෙක් යනු තමා ප්‍රකාශ කරන්නා වූ ප්‍රකාශන හා පොරොන්දු වුනා වූ පොරොන්දු නිවැරදිව සියල්ලන්ට ඉටු කරන තැනැත්තේ වේ.එසේ යහපත් දේ ඉටු කළෙහි නම්,තම අරමුණ තමාව නැති කරගෙන තමා අන් අය උදෙසා නායකයෙක් වීම නම්, සැබෑම නායකයා ඒ තැනැත්තාය.අනෙකා විනාශ කරමින්,තමා ඉදිරියට යන්නේ නම් එතැන නායකත්වයක් නැත,එතැන උගතෙකුත් නොමැත,එතැන හැදී වැඩී නිර්මාණය වන්නේ සියලු දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කරමින්, දෙවිවරුන්ට විරුද්ධව ක්‍රියා කරන අධර්මාධිපතිගේ ක්‍රියාවලියයි.එම ක්‍රියාවලිය කිසි දිනෙක සාර්ථක නොවන්නේය.යක්ෂයා අළු දූවිලි බවට පත් වන්නේමය.එම නිසා මා ප්‍රේමවන්තවූ දරුවෙනී, මෙතැන ජාතීන් අතර වෙන් කිරීමක් නොමැත,කිසිම දහමක් වෙන් කොට කතා කිරීමක් නොමැත.සියලුම දහම් අනුගමනය කරමින්,ඒ නායකයින් උදෙසා පවා කතා කරන, ඔබ නොදකින,ඔබ නොඅසා තිබෙන,ඔබ කිසි විටෙකත් බලාපොරොත්තු නො වූ, ඉහළින් පැමිණියා වූ පණිවුඩයකි,මෙය.මෙයට ඇහුම්කන් දෙමින්, මෙය අයිති කර ගනිමින්, තමා තමාව නිරන්තරයෙන් පරික්ෂා කර ගැනීම තුළ, තමා සෑම මොහොතකදීම තමාගේ දුබලකම් හදා ගනිමින්, අන් අයට එකමුතු වෙන, අන් අය හා එකට ජීවත් විය හැකි, උගත් හා බුද්ධිමත් යැයි කීමට හැකි අය වන්නේ එවැනි මනුෂ්‍ය දූ දරුවන්ය.දැන උගත්කමින් බොහෝ දේ දැනගත්ත ද ,තමා ලැබුවා වූ ප්‍රඥාව තුළ අයහපත් දේ රැස්කර ගන්නේ නම්, තමා අයහපත් ලෙස ජීවත් වෙමින් අනෙකාට විරුද්ධව ක්‍රියා කරන්නේ නම්,ඔබ තුළ මොන උගත්කමක්ද? ඔබ තුළ මොන බුද්ධිමත්කමක්ද? ඔබ තුළින් ලෝකයට ගත යුත්තක් නොමැත.ඔබ ඔබ ගැන මෙනෙහි කරන විට, මේ ලෝකය තුළම අධර්මයේ රාජ්‍යයන් නිර්මාණය කරන්නට දායක වන්නෙක් බව ඔබටම දැනෙනු ඇත.එසේ නම් එයින් මිදෙන්නට,මා කියූ සියල්ල තුළ මෙනෙහි කරමින්,ආපසු හැරී, ජීවිතය වෙනස් කරගනිමින්, ඉදිරියට එන ලෙස මාගේ ප්‍රේමවන්ත දරුවන්ට මම ප්‍රකාශ කරමි.තෙද බලැති මහා රජිදාණන්ගේ මහා බලසම්පන්න බල මහිමය තුළ, මුළු විශ්වයටම මේ මොහොතේ මා කතා කරමින්, මාගේ මහා ආශීර්වාදය මුළු විශ්වය වෙතම දක්වමි.”
මා,
ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.