“මේ දේව ආඥාවයි. ශ්‍රී ලංකාව නමැති දේශය උදෙසා දෙවි වූ ස්වාමින් වහන්සේ විසින් දෙන ලද පණිවුඩය මෙයයි. සියලූම නායකයින් වෙතටයි. ඔබගේ නායකත්වය කොතැනද? ඒ නායකත්වය දරන්නා වූ සැවොම දැනගත යුතු අනාවරණය මෙයයි. ඔබ මේ මොහොතේ රාජ්යතන්ත්රයේ සේවය කරන්නෙක් නම් ඔබ මෙය ගැඹුරින් අයිති කර ගත යුතුයි. එය මෙසේය. රාජ්‍ය නායකයිනී, නුඹලාගේ විනාශය දැන් නුඹලා පසුපස හඹාගෙන එන ලැව්ගින්නක් මෙන්ය. දේශය පවිත්‍ර කිරීම මම මෙලෙස සිදුකරන්නෙමි. විටෙක ලැව්ගින්නක් ලෙස ද විටෙක තද කුණාටුවක් ලෙස ද එය පැමිණෙනු ඇත. ආදරණීය දරුවෙනී, මම නුඹලාට ප්‍රේම කරමි. එනමුත් දෙවිඳුන්ගේ මහා ඉවසීම තුළ නුඹලා කෙරෙන් දේව ගරුබියක් මම නොදකිමි. ආත්මාර්ථයේ බල තණ්හාවෙන් පිරී සිටින නුඹලාට වන විපතක මහත. දැන් එකා පිට එකා සටන් වදිනු ඇත, එය නොනවතිනු ඇත. ජනතාව විසින් දෙවිඳුන්ගේ නීති නියෝග අණපනත් කඩකරන ලද බැවින් පොළොව අපවිත්‍ර වී දූෂණය වී ඇත. එනිසා දේශය පවිත්‍ර කිරීම පිණිස දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම සියලූ තරුණ දූ පුතුන් වැඩිහිටියන් සියලු ජනතාව දැඩි කරමින් පවිත්‍ර වූ ධර්මිෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීම පිණිස මෙය සිදුකරන්නෙමි.”
“සියලු රාජ්‍ය නායකයිනී, නිලය බලය හා ආත්මාර්ථය ආභරණයක් කරගත් ඔබට වන විපතක මහත. ජීවත්ව සිටින සෙනග කෙමෙන් අඩු වනු ඇත. මක්නිසාද ඔවුහු යුක්තිය උදෙසා දිවි පුදන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය. දේශයේ සතුට සැනසුම පහව ගොස් ඇත. එය නැවත ඇතිකර ගැනීමට බොහෝ සේ සටන් කළ යුතුය. පොළොව පාපයෙන් බර වී ඇත. පොළොව කම්පා වී දෙදරා සුනු විසුනු වන්නට තරම් පාපයේ බර අධික වී ඇත. පාපයේ බර කොතෙක්දයත් ඉහළ අහසේ බලමණ්ඩල පහළ පොළොවේ සිටින පාලකයන්ට දඬුවම් කරන කාලය පැමිණ ඇත්තේය. දෙවියන් වහන්සේගේ ඉවසීමට සීමාවක් ඇත්තේය. දෙවියන් වහන්සේ ප්‍රේමය මෙන්ම උදහස ද වන සේක. පියාණන්ගේ බැල්ම මේ දේශය වෙත යොමුව ඇත. අනාදියේ ආදම් සහ ඒව පිළිබඳ සැලසුම් ආරම්භ වූයේ ද මේ දේශයෙනි. අධර්මිෂ්ඨ බලපෑම් නිසා දුෂ්‍ය වී ඇති මේ දේශය පවිත්‍ර කිරීමේ වගකීම ද දෙවියන් වහන්සේට පැවරී ඇත. එය දෙවියන් සතු කාර්යයකි. ඒ සඳහා දෙවියන් වහන්සේගේ වැඩ ඇරඹීමේ කාලයයි, දැන් පැමිණ ඇත්තේ. දරුවෙනී, දැන් නුඹලා දැහැමිව ජීවත් විය යුතුයි. විටින් විට මගේ ධර්මිෂ්ඨභාවයේ පාඩම කියා දීමයි, මගේ කාර්යය වන්නේ. මුහුද විටෙක නිශ්චල වන්නාක් මෙන්ම විටෙක දැඩි වනු ඇත. එලෙසයි, දේව උදහසත්. බොහොම නිශ්චලව සියල්ල දෙස මුළු මැවිල්ල දෙස බලා සිටිමින් එය අකීකරුකම් පාන කල, මුහුද මහා ඝෝෂා නගමින් තද කුණාටුවක් ලෙස රළ පිට රළ ගසමින් සියල්ල පවිත්‍ර කරන්නාක් මෙන් මැවුම්කරුවාණන් වන මා ද සියල්ලන් පවිත්‍ර කිරීමයි, දැන් සිදුවෙමින් පවතින්නේ.”
“අරගල භූමියේ සිටින දරුවෙනී, මම නුඹලා අමතමි. සියලූ ජනතාව උදෙසා නුඹලා සියල්ල අත්හැර සියලු ආශාවන් අත්හැර සියලු අයිතිවාසිකම් අත්හැර යුක්තිය උදෙසා සටන් කරන ඔබ සියල්ලන් මම ආශිර්වාද කරමි. බිය නොවන්න. නුඹලා ජය ගනු ඇත. සියලු අසත්‍ය පරාජය කරමින් සත්‍යය ජය ගනු ඇත. එකා පිට එකා වැටී තම ලේ හලමින් ඒ ලෙයින් පාපය තෙත් කරමින් මේ දේශයේ ධර්මිෂ්ඨ රාජ්‍ය නායකයා ගෙනෙන තුරු නුඹලා සටන් වදිනු ඇත. නුඹලා අතරින්ම ඒ නායකයා මම ස්ථාපිත කරමි. බොරුවෙන් වංචාවෙන් දුෂ්‍ය වී පිරී ඉතිරෙමින් තිබෙන මෙවැනි මොහොතක සියල්ලන්වම දැඩි කිරීම පිණිස සියලු තරුණ දූ පුතුන් දැඩි කිරීම පිණිස මම මගේ රාජ්‍යයේ සගයන් නුඹලා වෙත එවා ඇත. මගේ බලගතු දූත පිරිස නුඹලා වටකොට ඇත. මම නුඹලාව ඒ ග්‍රහණය තුළ රඳවා ගෙන සිටිමි. මම නුඹලාව දේශය පවිත්‍ර කිරීම පිණිස අවියක් කර ගනිමි. සියලු ජනයෙනී, අවදි වන්න. තමා උදෙසා නොව සියල්ලන් උදෙසා අවදිව එළියට බසින්න, එක්රැස් වන්න, එකමුතු වන්න, එක්සිත් වන්න. මක්නිසාද නුඹලාගේ අයිතිවාසිකම් උදෙසායි, ඔවුන් සටන් වදින්නේ.”
“සියලු ආගමික නායකවරුනී, දැන් එකමුතු විය යුතු කාලයයි. ජාති කුල ආගම් භේද බැලිය යුතු කාලයක් නොවෙයි, දැන් උදා වී ඇත්තේ. සියල්ලන් එකා මෙන් ඒකරාශි වෙමින් එක මවකගේ දරුවන් මෙන් එකට එකතු වූ කල සියලු බාධක පරාජය කළ හැකිය. අපි අත්වැල් බැඳ ගනිමු. මම නුඔලාට මහා බලසම්පන්න ආසිරි වැසි වස්වමි. එක්රැස් වන්න, එකමුතු වන්න, බිය නොවන්න, ඉදිරියටම එන්න. ජීවිතය පූජා කරන්නට සිදුවුණොත් නුඹලාට මගේ රාජ්‍යයේ තැනක් ලැබෙනු ඇත. අන් අය උදෙසා අනාගත දරු පරපුර උදෙසා දැහැමි යුගය ආරම්භ කිරීම උදෙසා යුක්තිය ඉල්ලා සටන් වදින සියල්ලෙනී, අවදිවව්. මම නුඹලාව දැඩි කොට ඇත්තෙමි. ධර්මිෂ්ඨ වූ රාජ්‍යයක් ගොඩනැගීම පිණිස තම ලේ වගුරුවමින් කුසට ආහාරයක් නොමැතිව පිපාසයට ජලය නොමැතිව දුක බෙදා ගනිමින් සියල්ල කැපකර ගනිමින් එකට ඒකාරාශි වෙමින් කරන්නාවූ මේ සටන මෙතැනින් නිමා නොවනු ඇත. සැබෑ ධර්මිෂ්ඨ රාජ්‍යය ගොඩනැගෙන තෙක් අපි සටන් වදිමු. එය ඉක්මනින් ජයග්‍රහණය කරා එළඹෙනු ඇත. එලෙස නව රාජ්‍යයක් පිහිටුවනු ලබයි. මේ දේශයෙන් මුළු ලෝකයට පණිවුඩයක් දෙමු. ලෝ වැසි සියලූ රාජ්‍ය නායකයින්ට මෙය මරු පහරක් වනු ඇත. ලෝ වැසි සියල්ලන් මහත් ගෞරවයෙන් යුතුව මේ දෙස බලනු ඇත. ලෝකයට ආලෝකයක් වන්නාවූ මේ පුංචි දේශය ගැන ලෝක වාසින් යම් දිනෙක කතා කරනු ඇත.”
“රාජ්‍ය නායකයිනී, තවත් පමා නොවන්න. වෙනස් වන්නට හැරී එන්නට මනස්තාප වන්නට තවම කාලය තිබේ. දූෂිත වූ සියල්ල අධර්මයයි, එය යක්ෂ බලවේගයයි. එයට ගොදුරු නොවන්න. මනස්තාප වී සියල්ල තරුණ දූ පුතුන්ට භාර දී දැන් එය කරගෙන යාමට ඉඩ දී ඔබ පසු බසින්න. මම තවත් ඔබට කාලය දෙමි. ඔබ අද මහත් සැප වින්දත් දිනෙක විශාල වැලපීමකට මොරගැසීමකට ඔබ ඇතුළු වනු ඇත. එනිසා පාලකයිනී, අවදි වන්න, සියල්ලන් වෙත කරුණා නෙත් යොමන්න. ඔබ මෙතෙක් රැස් කළා වූ අධර්මයේ දේ නවතාලමින් මෙය ඔබගේ ජීවිතයේ හැරවුම්ලක්ෂ්යයක් කර ගනිමින් සියල්ල භාර දී නිහඬ වන්න. එසේ නොමැති වුවහොත් අහෝ ඔබට වන විපතක මහත. දේව උදහස ලැව් ගින්නක් මෙන් පසුපස ලුහුබඳිනු ඇත, විටෙක තද කුණාටුවක් මෙන් ඔබ වටා පැමිණෙනු ඇත. ඔබගේ පාපයේ භයානකකම තවම ඔබ නොදනී. එය ඔබගේ හෘද සාක්ෂියට දැනෙන්නට සලසනු ඇත. මෙයයි, මගෙන් ලද භයානක පණිවුඩය. දැන්වත් අවදි වන්න. උද්ඝෝෂණයේ යෙදී සිටින සියලූ දරුවෙනී, මම නුඹලා ආශිිර්වාද කරමි. දේව රාජ්‍යයේ සිටින මගේ සියලු සගයෝ ඔබට සහය වෙති. මගේ ස්වර්ගීය දූත පිරිස ඔබ වටා රැස්ව ඇත, ඔබව මහත් සේ රකිමින් බලසම්පන්න කරමින් ඔවුන් ඔබට අවියක් වනු ඇත. මක්නිසාද දෙවි වූ ස්වාමින් වහන්සේ ඔබව එතුමන් සුරතේ අවියක් කර ගනිමින් මේ දේශය පවිත්‍ර කිරීම පිණිස ගෙන යනු ලබන සේක. ආමෙන්.”
මා,
ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.