“ලෝ වැසි මුළු මිනිස් ජනතාව උදෙසා දෙවි සමිඳුන් වන මා දෙන දේව හඬ සහ දේව අණ යි මේ නික්මෙන්නේ. මා ප්‍රේමවන්ත දරුවෙනී, මුළු විශ්වයම මේ මොහොතේ කැලඹිල්ල තුළ පොර බදමින් විවිධාකාර කුණාටු සහිත තැනකයි තිබෙන්නේ. ඒ පියාණන්ගේ සැලැස්මයි. පියාණන් මේ මොහොතේ බලා සිටින්නේ ජනතාවගේ අවදි වීම දෙසයි. මා කොතෙක් පණිවුඩ ලෝකයට දුන්නත් තාම ස්වල්ප දෙනෙක් පමණයි අවබෝධ කරගනිමින් ජීවිතය සාදා ගන්නට වෙර දරන්නේ. මා ප්‍රේමවන්ත දරුවෙනී, මුළු ලෝ වැසි ජනතාවට උතුම් වූ ආදරය ලැබෙන්නේ පියාණන් ගෙනි. ශුද්ධාත්මයාණන්ගේ ඒ මහා ශුද්ධාත්ම වැගිරීම ලොවට පැමිණෙමින් ඇත. ඒ මහා වරප්‍රසාදය ලබන්නට බොහෝ අය සුදුස්සන් වෙමින් පවතී. තවද සියල්ලන් සුදුස්සන් කරගන්නට පියාණෝ බලා සිටිති. ඔවුනොවුන් ආපසු හැරී එන තෙක් ඔවුනොවුන්ගේ නිදහස් කැමැත්තට අත නොතබන දෙවියන් වහන්සේ තවමත් බලා සිටිති. විශ්ව නිර්මාතෘවරයාණන් වන පියාණෝ ලෝකය ආලෝකවත් කරමින් දෙවන පැමිණීමට සූදානම් වෙමින් සිටිති. මේ මොහොතේ ලෝකයා ඔවුනොවුන් ගත කරන ජීවිත තුළ වෙනත්ම රටාවකට ජීවිතය හැඩගස්වා ගනිමින් සිටිති. පියාණන් විසින් සූදානම් කර ඇති නිවැරදි මාර්ගය දෙසට හැරී එන තෙක් පියාණෝ දෙඇස් නොහෙලා බලා සිටිති. ධනය බලය පරාජය කරමින් දේව රාජ්‍යය උදා කරන්නට, මිහිපිට දේව රාජ්‍යය ගොඩ නගන්නට ස්වර්ගයෙහි දේව ජීවිත මිහිපිටට පැමිණීමට ඉතා ආසන්නය.”
“මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, මුළු ලෝ වැසි ජනතාවටම ආදරය කරන දෙවි සමිඳුන් මමයි. සියල්ලන්ගේ අයිතිකරුවාණෝ මම වෙමි. සියළු බලය හමුවේ, සියළු ධනය හමුවේ ඔවුනොවුන් විසින් මවාගෙන තිබෙන්නා වූ ඒ විවිධාකාර රාජ්‍යයන් කුඩුපට්ටම් කරමින් දේව රාජ්‍ය ඇරඹෙන්නට ආසන්නයි, මේ මිහිතලය මත. සියලු ආගම් නායකවරුනී, සියලු ජන දරුවෙනී, ඔබ හැම එකට ඒකරාශී වෙමින් එක පවුලක දරුවන් මෙන් එකට සිතනා මොහොත, එකට ජීවත් වෙන්නා වූ එකට සැරිසරමින් ඒකත්වයක් වෙමින් එකම රාජ්‍යයකට අයිතිවාසිකම් කියන්නට උරුමකම් කියන්නට ඔබ හැම එක්තරා දිනක සූදානම් වනු ඇත. කුල්ලෙන් හලා පොලා වෙන් කර ගන්නාක් මෙන් ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඔබව තෝරා ගනිමින් මේ මොහොතෙත් තෝරමින් සිටිති. මා ප්‍රේමවන්ත දරුවෙනී, මුළු ලෝකයම කැළඹෙමින් ඒ මහා පවිත්‍රකිරීම තුළ විවිධාකාර පැතිකඩවලින් ලෝකය සුදානම් වෙමින් ඇත. ධර්ම අධර්ම යුද්ධය ආරම්භ වී ඇත.”
“පවිටු ජනයෙනී, ඔබ ඔබගෙන්ම විමසන්න, ඔබගේ ගමන් මග අවබෝධ කර ගන්න, ඔබ ඔබවම දකින්නට සූදානම් වන්න. ජාති කුල ආගම් භේද නොමැත.සියලු රාජ්‍යයන් එකට ඒකරාශී කර ගනිමින්, සියලු සභාවන් එකට ඒකරාශි කර ගනිමින් එකම මනුෂ්‍යත්වයක් තුළ, එකම ලෝකයක් තුළ එකිනෙකාට උදව් වෙමින් එකිනෙකාට ආදරය කරමින් එකිනෙකාව ජීවත් කරවීම තමා ඔබගේ වගකීම වන්නේ. අනෙකාට වින කිරීම, අනෙකාට වෛර කිරීම, අනෙකාගෙන් පලි ගැනීම ඔබට අයිති නැත. ඔබට වෛර කරන්නාට ප්‍රේම කිරීම ඔබ සතුය. ඔබ ලෝකයට පෙනෙන්නට දෙවියන් අයිති කර ගත්තාක් සේ පෙන්නුවාට ඒ තුළ දෙවියන් වහන්සේ ඔබ දෙස බලා සිටිති. කිසිවෙක් කිසිවෙකු රවට්ටන්නෙහි ද, ඒ තුළ ස්වර්ගයේ ස්වාමින් වහන්සේ ඔබ දෙස බලා සිටිති. ඔබ ඔබ විසින්ම මවා පාන්නාවූ පුහු දේවල් තුළ ඔබට දැඩි දඩුවම් ලැබෙනු ඇත. මක්නිසාද ඔබ ඔබ දෙස හැරී බලන්න, ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. හද පත්ලෙන් ප්‍රේම කරන්න, අන්න එවිට මතු දිනක ඔබ පරපුර ස්වාමින් වහන්සේගේ ආශීර්වාද ලත් ජනතාවක් වනු ඇත. ඔබගේ පරපුර දෙවි සමිඳුන්ගේ මහා වරප්‍රසාදයන් තුළ ඉදිරියට ගමන් කරනු ඇත. දේව සභාව තුළ කිතුනු දහම තුළ සැබෑ කිතුනුවෙකු ලෙස ජීවත් වෙන්න. මොනයම් දහමක් තුළ ඔබ සිටියත් ඒ දහමට අනුකුලව ඔබ එකිනෙකා එකිනෙකාට ප්‍රේම කරමින් එකිනෙකාව වැළඳ ගනිමින් එකිනෙකාට උදවු වීම තුළ ඔබ තුළම ඔබට ආවේනික වූ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩ නැගෙනු ඇත.”
“මා ප්‍රේමවන්ත දරුවෙනී, ඔබ ඔබවම රවටා නොගන්න. ඔබ කරනා දේ තුළ ඔබ ලෝකයාට මොන දේ පෙන්වූවත් ඔබගේ ඇතුලත දකින දෙවියන් වහන්සේ එයට අනිවාර්යයෙන්ම උත්තර දෙනු ඇත. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, ඔබ කරන්නා වූ සෑම සියලු දේ තුළ රිදුම් දෙන්නේ මැවුම්කරුවාණන්ටම ය. මුළු මිනිස් ජනතාව දෙස බලා සිටින ඔබගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ඔබ දෙස බලා සිටිනු ඇත. සභා නායකයිනී, රාජ්‍ය නායකයිනී, විවිධාකාර දහමට අනුකූල දහම් නායකයිනී, ඔබ හැම කෙනෙක්ම අවදි වන්න. එකම දහමකට කොටුව එකිනෙකා විවේචනය නොකර හැම කෙනෙක්ම අත්වැල් බැඳ ගනිමින්, එකමුතු වෙමින් මුළු මිනිස් ජනතාවගේ සහෝදරත්වයෙන් ඒකරාශී වෙමින් ලොවට පණිවුඩය ගෙන දෙන්න. පියාණන්ට සැනසුම උදා කර දෙන්න. පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින්නට සුදුස්සන් වන්න. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, සැබෑම මනුෂ්‍යත්වය ඔබ තුළ ගොඩ නගා ගන්න. ස්වර්ගීය පියාණන්ගේ මහා වරප්‍රසාද ලබා ගන්න. සාතන්ට ලංවීමට ඉඩ නොදෙන්න. ලෝකයේ සුන්දර යැයි දකින සියල්ලම සුන්දර නොවනු ඇත. මහා මායාවකින්, අඳුරු පටලයකින් එලෙස ඔබ වසා සිටින දෙයින් එලියට එන්න. දිව්‍යමය ස්වාමින් වහන්සේගේ ආලෝකය තුළ ජීවත් වෙන්නට ඇතුළු වන්න. ඔබගේ ඇතුළු සිත හිමට වඩා සුදු ස්වර්ගීය තැනක් කර ගන්නට දෙවි වූ ස්වාමින් වහන්සේ ගෙවුවා වූ මිලය, ඒ රුධිරයේ බලයෙන් ඔබ ඔබවම මුළුමනින් පොඟවා ගන්න. දිව්‍ය ලෙයින් පවිත්‍ර වන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී. මා එලෙස ප්‍රකාශ කරන්නේ කිසිවෙක් කපා කොටා රුධිරය වගුරුවන්නට නොව ඔබ වෙනුවෙන් දිවි පිදුවා වූ, කුරුසිය මත ඇණ ගසනු ලැබුවා වූ ඒ දිව්‍ය එඬේරාගේ රුධිරයෙන් පෙඟෙන්නටයි මා මේ මොහොතේ ප්‍රකාශ කරන්නේ. ඔබගේ බැරි භාවයන්, ඔබගේ දුබලකම් ඉදිරියට ගෙනෙමින් ඒ රුධිරයෙන් පොඟවන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී.”
“මේ කෙටි කාලය තුළ ලෝකයම කැළඹුවා වූ වෛරසයක් නිසා ජනතාව භීතියට පත්ව ඇත. එයින් පියාණන්ගේ ඇඹීම ආරම්භ විය, නමුත් එය අවසන් නැත. මා ප්‍රේමවන්ත දරුවෙනී, මුළු මිනිස් ජනතාවට කරන ආරාධනයයි, මේ. ඔබ ඔබ දෙසම ආපසු හැරී බලන්න. තමා තමාව සොයන්න පුරුදු වෙන්න. වැරදුනු තැන් සාදා ගන්න. මහා බලවත් තැනැන් වහන්සේගේ බලයේ අනුග්‍රහය ලබා ගන්න. ඔබගේ ජීවිතය ගොඩනැගෙන්නා වූ මහා ගසක් වන්නට මා හට ඉඩ දෙන්න, පල දරනා මිදි උයනක් කරන්නට සූදානම් වන්න. ඔබගේ ජීවිතය පලදායී ජීවිතයක් බවට පත් කර ගන්න. ඔබට ඇසෙන්නට කන් ඇත, කතා කිරීමට මුව ඇත, දකින්නට දෙඇස් ඇත, ක්‍රියා කරන්නට අත පය ඇත, සිතන්නට සිතක් ඇත, හදවතක් ද ඇත. මා ප්‍රේමවන්ත දරුවෙනී, මේ සියල්ල යහපත උදෙසා වැය කරන්න. යහපත් දැක්මක් තුළ සිටින්න. යහපත් දේට ඇහුම්කන් දෙන්න, හොඳ දේ අයිති කර ගන්න. හොඳ සිතුවිලිවලින් පිරෙන්න. අන්න එවිට ඔබ තුළම යහපත් පලදාවක් නිර්මාණය කරමින් ලෝකයට ඵලයක් ගෙනෙන්නට පුළුවන. මා ප්‍රේමාදර වූ දරුවෙනී, තවමත් ඔබගේ සූදානම් වීම, ඇහුම්කන් දීම අඩුය. භයානක කාලයක් ඉදිරියට එනු ඇත. එම නිසා නිරන්තරයෙන් තමා කරනා දේ නිවැරදි දැයි බලන්න. අන්න එවිට මොන භයානක දේ පැමිණුනත් ඔබ ආරක්ෂා වනු ඇත. ඔබට ගැළවීම, සුරක්ෂිත භාවය ලැබෙනු ඇත. ඔබ පරපුර රකිනු ඇත. මෙය දෙවි වූ ස්වාමින් වහන්සේගේ මහා මඟ පෙන්වීමකි. සියලු ජාතීන් සියලු ආගම් එකට ඒකරාශී වෙමින් එකම ලොවක් බවට පත්වීමට සූදානම් වන්න. එකම ලෝකයක කිසිම හිඩැසක් නැති පූර්ණත්වයේ සංකේතයක් වෙමින් එය ජය ගන්නට සලස්වන්න, මා ප්‍රේමවන්ත දරුවෙනී. මෙයයි මගේ පණිවුඩය.
මා,
ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.