“ලෝ වැසි සියලු ජනයෙනී, මම ඔබ අමතමි. මුළු විශ්වයම මවා වදාලා වූ තැනැන්වහන්සේ වන පරම පරාක්‍රම දෙවි සමිඳුන් වන මම, ලෝ වැසි සියලු දෙනාට අසීමිතව ප්‍රේම කරන දෙවිඳුන් වන මම ඔබ වෙත දක්වන ගැඹුරුම ආදරය යි, මේ. විශ්වයම ඒකාලෝක කරන්නට මම ඔබගේ සහය පතමි. මා ප්‍රේමවන්ත දරුවෙනී, මේ මොහොත වන විට ශුද්ධවූ ලියවිල්ලේ සඳහන් වන පරිදි ලෝකය පවිත්‍ර කිරීම වේගවත් ලෙස එය සූදානම් කළ ආකාරයටම සිදුවෙන ආකාරය ඔබ දකිනවා ඇත. මනුෂ්‍යයාට නොවැටහෙන කරුණ නම් දමිටුන් සහ අදමිටුන් දැන හඳුනාගත යුතු ආකාරය යි. දුදනන්ගේ දුර්ගුණයන්ට දෙවි පියාණන්ගේ මහා සමාව අයදිමින් මහා පාපොච්චාරණයකට ඇරයුම් කරමි. ඒ සියලු දුර්ගුණයන්ගෙන් මිදෙන්නට මොහොත පැමිණ ඇත.”
“ සියලු, විවිධාකාර ජාතීන්වලට බෙදී සිටින ජනයෙනී, මම ඔබලාටයි මේ කතා කරන්නේ. සියලු නායකවරුනී, විවිධාකාර නායකත්වයන් දරන නායකවරුනී, මම ඔබලාව අමතමි. ඔබ නායකත්වයක් දරන්නට සුදුස්සෙක් වන්නෙහි ද ? නායකත්වය යනු සියලු දෙනාට සාධාරනය ඉටු කර දීමේ මහා පරමාර්ථය විය යුතුයි. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, තමා නායකත්වයට සුදුසු වන්නේ තම හෘද සාක්ෂියට එකඟව සාධාරණ නායකත්වය තුළ ජනතාවගේ ඕනෑ එපාකම් සොයා බලමින් ඒ විනිශ්චයේ මහා විනිශ්චයකරුවෙක් වන ආකාරය අනුව යි. විනිශ්චයකරුවෙක් නඩුවක් විසඳන කල සාධාරණය දෙස බලා සර්ව සාධාරණත්වය තුළ ජයග්‍රහණය හිමි කර දිය යුතුය. එලෙසම මම ඔබ සැමගෙන් ඉල්ලන්නේත් ඔබ සැබෑම නායකයෙක් නම් ජනතාවගේ විශ්වාසවන්ත නායකයෙක් විය යුතුයි. මේ සියල්ල බලා සිටින තවත් කෙනෙක් ඔබ දෙස බලා සිටිනු ඇත. මැවුම්කරු වන මම, මුළු විශ්වය මවා වදාලා වූ තැනැන්වහන්සේ වන මම එකම මොහොතකම එකම වෙලාවේ බොහෝ දේට සවන් දෙමින් බොහෝ දේ දකිමින් මුළු මිනිස් සමාජය දෙසම බලා සිටිමි.”
“ මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, දෙවිඳුන්ගේ ප්‍රේමයට නිමක් නැත. ලෝකයේ මහා බලවතාණන් වන මම ඔබ හැමගෙන් ඉල්ලා සිටින්නේ ලෝකයේ ධනයෙන් නොපිරී ස්වර්ගීය ධන සම්පත් රැස් කරගන්නා ලෙස යි. හැම කෙනෙක්ම අනෙකා පසු පස නොගොස් තමා දෙසම හැරී බැලීම තුළ තම ආත්මයේ අඩුපාඩුකම් දකින්නට ඔබටම පුළුවන. මා ප්‍රේමාදර වූ දරුවෙනී, ලෝකය කොයි ආකාරයකට ද ගමන් කරන්නේ කියා ලෝකයාවත් නොදනී. මක්නිසාද විශ්වය මවා වදාල තැනැන්වහන්සේ විටින් විට ලෝකය පවිත්‍ර කිරීම වේගවත් කරමින් ද, නැවත නිහඬ කරමින් ද විවිධාකාර ආකාරයට මේ ගමන මහා පවිත්‍රකරණයක් තුළ ලොව සැම දෙස බලමින් ගෙන යන සේක. අහස් කුස විදුලි දහරාවක් මෙලොව මතට විදුලිය ගෙන එයි. එලෙසින්ම පොළොව මත තිබෙන ජලය අහස් කුස වෙත ඇද ගනිමින් වාෂ්ප කරමින් මුළු පොළොවටම ජලය, සශ්‍රීකත්වය ලබා දෙයි. මා ප්‍රේමාදර වූ දරුවෙනී, හිරු එළිය නැවතුනු කල විශාල විනාශයකට ලොව මුහුණ දෙනු ඇත. එය බොහෝම කෙටි කාලයක් තුළ සිදුවනු ඇත.”
“ ඒ වගේම පොලෝ තලයේ ජල දහරාවන් අහස හා බැඳෙන්නා වූ ඒ මහා සම්බන්දතාවය තුළ, අහස තුළ විහිදී යන්නා වූ විදුලි දහරාවන් විශාල ආලෝකයක් ලෙස පොළොව මත පතිත වෙමින් යම් දිනක ලොව නවතිනු ඇත. මේ මහා විනාශය දැන් බුර බුරා නගින ගිනි ජාලාවක් වන්නට ඉතා ආසන්න ය. මේ ජලය ජල වාෂ්ප වී කුණාටුවක් බවට පත් කරමින් පොළොව කම්පා වෙමින් මහා විශාල පරීක්ෂනයකට බොහෝම කෙටි කලක් තුළ ලෝ වැසි ජනතාවට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මනුෂ්‍යයා තවමත් නොදනී, දෙවිඳුන් කවුරුන් ද කියා. මැවුම්කරුවාණන් වන එකම දෙවිඳුන්ට ගරු නොකරන තැනැත්තේ සාප ලද්දෙකි. දෙවිඳුන් අභිමුව ගරු බුහුමන් කරමින් දෙවිඳුන්ට වන්දනා මාන කරන්නෝ කවරහු ද? දෙවියන්ගෙන් ලද වරප්රසාදයන් තුළ ඔහු ධනවත් වනු ඇත. මනුෂ්‍යයා බලන බැල්ම ලෙස නොවෙයි, දෙවිඳුන් ඔබ දෙස බලන්නේ. දේව රාජ්‍යයේ සිටින මහා එඩේරාණන් ඔබ දෙස බලා සිටින්නේ බැටළුවන් රකින එඬේරෙකු මෙනි. මා ප්‍රේමාදර වූ දරුවෙනී, ජාති කුල ආගම් භේද නොමැත. ජාතියක් ජාතියකට විරුද්ධව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධව ද නැගී සිටින කාලය පැමිණ ඇත. මේ ආකාරයෙන් අතීතයේ මෙවැනි අනාවරණයන් ඔබ වෙත එවා ඇත. විවිධාකාර අනතුරු, රෝග ලෝකය වෙත, ඔබ වෙත පැමිණෙමින් තිබේ. මේ භයානක යුගය යි, දැන් පැමිණ ඇත්තේ. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, අවදි වන්න. අඳුරට ගුලිවී නොසිටින්න. ඔබට ආදරය කරන ප්‍රේම කරන ඔබව තුරුල් කර ගන්නා වූ ඔබ නොහඳුනන කෙනෙකි, මේ ඔබ අමතන්නේ. ඒ වාගේම දේව වචනය හෙළාදකින, ප්‍රතික්ෂේප කරන, නිගා කරන පවිටු ජනයෙනී, මම ඔබ දෙස බලා සිටිමි. මක්නිසාදයත් නැවත නැවත කියමි, භයානකම මොහොත යි එළැඹ ඇත්තේ.”
“ දූ දරුවෙනී, නායක නායකයිනී, රාජ්‍ය නායකයිනී, සභා ශ්රේෂ්ඨයෙනී මම ඔබට නැවත කතා කරමි. මෙය ඔබගේ යුතු අයුතුකම් ගැන මෙනෙහි කරන්න කාලය යි. පළමුව ඔබ ඔබ දෙස අවදි වන්න, ඉන් පසු ජනතාව වෙත ඔබගේ යුතුකම් ඉටු වී දැයි විමසා බලන්න. ලෝකය නම් එකම රංගනයකි. මුළු ලෝකයම දැන් වේශ්‍යාවක් වී ඇත. ඒ නිරුවත ඔබ දැකිය යුතු මොහොත යි, දැන් පැමිණ ඇත්තේ. ඔබ ඔබගේ නිරුවත දකින්න, අවදි වන්න, ඔබ සමිඳුන්ගේ හඬ ඔස්සේ ගමන් කරන්න. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, වාතය ඔබට ජීවය දෙනු ඇත. ජලය ඔබව ජීවත් කරවනු ඇත. ජීවන හුස්ම ඔබට දී ඇත්තේ ඔබගේ මැවුම්කරුවාණෝ ය. එසේ නම් එය ඉවතට ගත් කල ඔබ කපා හෙලූ කඳක් මෙන් බිමට ඇද වැටෙනු ඇත. එම නිසා ඔබ බදා ගෙන තිබෙන දේ අත් හැරිය යුතු කාලය යි, දැන්. දෙවිඳුන් ප්‍රේමය මෙන්ම උදහස ඇවිලෙන ගිනි ජාලාවක් මෙන් ය. ඇවිල දැවෙන ගිනි උඳුනක් මෙන් ය. පියාණෝ ද පුත්‍රයාණෝ ද ශුද්ධාත්මයාණෝ ද වන ත්රිත්වික දෙවිඳුන්ගේ මහා බලසම්පන්න වූ බල මහිමය තුළින් පුත්‍රයාණන් වෙත අනාවරණය කරන ලද මේ වදන් ලෝකයා වෙත දිග හැරෙන මොහොත යි, මේ. පියාණන් ද පුත්‍රයාණන් ද ශුද්ධාත්මයාණන් ද වන ත්රිත්වික දෙවිඳුන් විසින් අනාවරණය කරන බොහෝ දෑ දෙව් මවුන් විසින් ද ලෝකයට අනාවරණය කරමින් ඇත. ස්වර්ගයෙන් ලද පණිවුඩ බොහෝ දිවැසිවරුන් මාර්ගයෙන් ලෝකය වෙතට ඒවා ඇත. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, ලෝකයට ඇසෙන්නට යාච්ඤා කළ පමණින් ඔබට දෙවිඳුන් දැකිය නොහැක. යාච්ඤාව ඔබගේ ආහාරය විය යුතුමය. දේව වචනය ඔබගේ ආහාරය විය යුතුමය. යාච්ඤාව මෙන්ම ඔබගේ ජීවිතය, ඔබගේ ඇතුළු සිත, ඔබගේ ක්‍රියාවන්, හැසිරීම් සියල්ලම ගැඹුරු යාච්ඤාවක් මෙන් විය යුතුය. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, නිහඩ නිශ්චල දිය දහරාවක් මෙන් ගලා යන්නට ඉඩ හරින්න, ඔබගේ ජීවිතය. විටෙක ඔබටත් නොදැන ඔබගේ ඇතුලත විශාල තද කුණාටු හමනු ඇත. මහා ගිනි උඳුනක් ඔබ තුළම දැවෙනවා ඔබට දැනෙනු ඇත. ලෝකයාට ප්‍රේම කිරීම පිටාතරින් පෙන්නන්නට ගියාට දෙවි සමිඳුන් තුළ එය කළ නොහැක. සියල්ල දකින දෙවියෝ සියල්ලට පල විපාක දෙන සේක.”
“ මා ප්‍රේමාදර වූ දරුවෙනී, මුළු ලෝ වැසි ජනයෙනී, මනාලයා මනාලිය වෙත පැමිණෙන කාලය ඉතා ආසන්න ය. එවිට අහස ගිගුරුම් දෙයි. පොළොව ප්‍රීති නාද පවත්වනු ඇත. මැවුම්කරුවාණන් විසින් මවන ලද මුළු සොබා දහමම ප්‍රීතිමත් වනු ඇත. සව් සත ප්‍රීතියෙන් ඉපිලෙනු ඇත. සව් සරියෙන් ලොව සපිරෙනු ඇත. තෙද බලැති මහ රජිදාණන් වන මහෝත්තම දෙවි සමිඳුන් මේ පොළොව මත පා තබන මොහොත ආසන්න බැවින් මුළු විශ්වයම එක විට වේගවත්ව චලනය වනු ඇත. විනාඩි කිහිපයකට මුළු පොලෝ තලයම සෙලවෙනු ඇත. දෙවිඳුන්ගේ මේ ආඥා, මේ දැනුම්දීම පළමුව සතා සිවුපාවා දැනගනු ඇත. මනුෂ්‍යයාට වඩා සත්ව ගෝත්‍රය දෙවිඳුන් හඳුනයි. ඔවුන්ගේ නිහැඩියාව, නිශ්චල බව මුළු ලෝකයම විටෙක දකිනු ඇත. දෙවිඳුන්ගේ අණ පණත් ප්‍රතික්ෂේප කරන්නන් ඇවිල දැවෙන ගිනි උඳුනටම දමමින්, පියාණන්ගේ මහා ප්‍රේමය උදෙසා පවිත්‍ර කරනු ඇත. ඒ කාලය කොතෙක් දැයි කිව නොහැක. ඒ නිසා මා ප්‍රේමවන්ත දරුවෙනී, ඔබ ඔබ අවට සියල්ල ගැන පමණක් නොවෙයි ලෝ වැසි ජනතාව වෙත කරුණා නෙත්, කරුණා සිත් යොමන්න. දයාබර වූ සිතකින් අන් අය වෙත ප්‍රේම කරන්න. එකිනෙකාට උදව් වෙන්න. තමා තමාටම සියල්ල කර නොගෙන අනෙකාට උදව් වෙන්න. මනාලියට තවමත් නොදැනේ, මනාලයාගේ ස්වරූපය. මනාලිය තවමත් නිවැරදි ආකාරයෙන් සැරසී නොමැත. අඩුපාඩු බොහෝ ය.”
“ මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, ඔබගේ හිමිපාණෝ ඔබ වෙත සෑම කල්හිම, සෑම මොහොතකදීම, සෑම තත්පරයක් තුළදීම අවදියෙන් සිටින සේක. දැන් බොහෝ දේවස්ථානවල යැදුමට පිදුමට ඉඩ නැත, එදා මා අනාවරණය කළ පරිදි ජාතියක් ජාතියකට විරුද්ධවත්, ආගමක් ආගමකට විරුද්ධවත්, රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැගී සිටින කාලය ඇරඹී ඇති නිසා. මෑතකදී එවැනි මොහොතක් උදා වූ තැන් පටන් තවම ඒ මහා පරීක්ෂණය සිදු වෙමින් ඇත. ලෝකයට දූතවරු පාත්‍ර රැගෙන බැස ඇත. එක් දූතයෙක් බොහෝ රෝග සහිත පාත්‍රය රැගෙන ඇත. තවත් දූතයෙක් ලෝකයේ විවිධ තැන්වල මහා භූ කම්පනයන් හා විශාල කුණාටු සිදුකිරීමට පාත්‍රයක් ද රැගෙන ඇත. විවිධ තැන්වල ඔවුන්ව සිටුවා ඇත. පියාණන්ගේ ඉඟිය ලැබුණු සැනින් ලොවම එකම මොහොතක නවතිනු ඇත. මේ භයානක කාලය එළඹෙමින් තිබේ. මා ප්‍රේමවන්ත දූ දරුවෙනී, මේ මහා අනාවරණය මුළු විශ්වයටමයි. මෙය විවිධ භාෂාවලින් ලෝකය වෙත දැනුම් දිය යුතුමය.”
“ සභා නායකයිනී, පූජකවරුනී, කන්‍යා සොයුරියනී අවදි වන්න. මක්නිසාද අද සභාව ද නිරුවතින් සිටින්නා සේ පෙනෙනු ඇත. එම නිසා ඔබ අතරින් අල්පයක් සමිඳුන්ගේ මාර්ගය සොයා ගනිමින් පිපාසිතව ගමන් කරනු ඇත. ඔබ ඉතා ආශාවෙන් තෝරා ගන්නා ලද කැඳවීමට ආදරය කරමින් දෙවියන්ට ගරු බුහුමන් කරමින් ඔබ සැබෑ ලෙස මේ බැටළුවන් පෝෂණය කළ යුතුමය. ඔබ ඔබගේ වාසිය තකා නම් පූජක හෝ පැවදි ජීවිතයට ඇතුළු වූයේ ඔබට පැමිණෙන දඬුවම භයානක වනු ඇත. මක්නිසාද අසරණව කෑ ගසන, මොරදෙන බැටළුවන් ඔසවාගෙන යන්නට මම ඔබලා තෝරා පත් කළෙමි. තමාගේ වාසිය තකා නම් තම සේවාව භාර ගත්තේ, ඒ කිසිවෙකුටවත් සමාව නොමැත. ලෝ වැසි ජනතාව රැවටුව ද කිසිවෙකුට දෙවිඳුන් රැවටිය නොහැක. එය යි සත්‍යය. නිලතල බලාගෙන තම තමාට අවශ්‍ය වන ලෝ සැප සම්පත් බලාගෙන එය භුක්ති විඳීම නම් කැමැත්ත, එය මහා භයානක වනු ඇත. ඔබගෙන් නික්මෙන්නා වූ වදන ප්‍රේමයේ වදනක් නම් ඒ වදන තුළ ඔබ එඩේරුන් හැටියට නායකයින් හැටියට ඒ තුළ ජීවත් වී පෙන්විය යුතුමය. අන්න එවිටයි, අනිත් අයව නිවැරදිව ගමන ගෙන යන්නට පහසු වන්නේ.”
“ සියලු නායකවරුනී, ඔබට පැවරී ඇති ඒ මහා සේවාවන් තුළ අසරණ ජනතාව ඔබව තෝරා පත් කර තිබෙන්නේ ඔවුන්ගේ ඕනෑ එපාකම් සලසා දෙන්නට යි. ඔවුන්ගේ විශ්වාසයට උත්තර දෙන්නට යි, ඔබ නායකයෙක් වී සිටින්නේ. ඔවුන්ගේ විශ්වාසය සාධාරනය ඉටු කිරීමට යි ඔබ නායකයෙක් වී සිටින්නේ. එසේ නොවන්නේ නම් අහෝ ඔබට වෙන විපතක මහත. මක්නිසාදයත් මෙලොවින් සමු ගන්නා කල බොහෝ දේට මුහුණ දීමට සිදුවනු ඇත. බොහෝ විට මනුෂ්‍යයා නොදනී, තමා කරන දේ අනුව මේ ලෝකය තුළම බොහෝ විට බොහෝ දේවල්වලට දැඩි දඬුවම්වලට මුහුණ පාන්න සිදුවන බව. සොබාදහම විසින්ම ඒ මහා භයානක පරීක්ෂණයට ඔබලා හසු වනු ඇත. අවදි වන්න. ඔබ කතා කරනා දේ සුළගේ පාවෙන වචනයක් නොවන්නට වග බලා ගන්න. ඔබගෙන් පැමිනෙන්නා වූ වචනයට ජීවයක් දිය හැකි විය යුතුය. ඔහේ පාවී යන්නා වූ වදන් අයිති කරගෙන තමා තුළම ගිනි අවුලා නොගන්න. තමාව පෝෂනය කරගන්නට පුළුවන් තවත් කෙනෙකුව පෝෂනය කරන්නට පුළුවන් වදන්වලට පාවී යන්නට ඉඩ නොහැර අයිති කර ගන්න.”
“ මේ ලෝකයේ සැප සම්පත් භුක්ති විඳින්නා වූ ජනතාවෙනී, මේ සියලු සම්පත්වලින් ඔබ තාවකාලිකව ප්‍රීති වනු ඇත. නමුත් ඒ ප්‍රීතිය නොමැතිව දුක් විඳින අසරණ පීඩා විඳින ජනතාව මේ තුළ දුක් වින්දත් ස්වර්ගය තුළ ධනවත් වනු ඇත. දිළිඳු ජනතාව ස්වර්ගය භුක්ති විඳිනු ඇත. සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ යැයි කියන්නේ එබැවිනි. මක්නිසාද ස්වාමින්වහන්සේ සියලු සිත් හඳුනන සේක.”
“ මගේ මේ කාර්යය සඳහා මා විසින් තෝරා ගන්න ලද ශ්රාවකයිනී, ඔබගේ කැඳවීම නිහඬව මුළු ගැන්වී සිටීම නොවේ. ඔබ මා පරීක්ෂා කරනු ඇත, මා ඔබ පරීක්ෂා කරනු ඇත. ඔබ මා විවේචනය කරනු ඇත. මා ඔබට සමාව දෙනු ඇත. ශ්රාවකයිනී, තමා වටා ජනතාවක් කොටසින් කොටස රැස් කරගෙන යන ගමන නොවෙයි මම ඔබලාගෙන් බලාපොරොත්තු වන්නේ. මුළු ගැන්වී එකිනෙකා විවේචනය කිරීම නොවෙයි, මම ඔබලාගෙන් බලාපොරොත්තු වන්නේ. එකට ඒකරාශීව එකමුතු වෙමින් තම තමුන්ගේ නිරුවත දකිමින් දැන්වත් ඉදිරියට එන්න. වසර ගණනකට උඩ දී මා ඔබ තෝරා ගත්තේ පරාජය බාර ගන්නට නොව ජයග්‍රාහී ලීලාවෙන් මේ ක්‍රියාවලිය ලෝකය වෙතට ගෙන යන්නට යි. අවදි වව්. මම පියාණන්ගේ පුත්‍රයා වෙමි, පියාණන්ගේ අණ පරිදි ප්‍රකාශ වෙමි. මාගෙන් ප්රාතිහාර්ය බලාපොරොත්තුවෙන් මුලු ගැන්වී සිටින විවේචනය කරන ශ්රාවකයින් මම දකිමි. දැන් ඔබ බලා සිටි කාලය යි මේ උදා වී ඇත්තේ. ඔබ බලා සිටින මොහොතේම ඔබලා තුළම ගිනි ඇවිලෙනු ඇත. වැළපෙමින් සමිඳුන්ගෙන් සමාව යදින මොහොත ළංවනු ඇත.”
“ මනුෂ්‍ය ශරීරයකින්, කාන්තා ස්වරූපයකින් මේ ලෝකයට ගෙන ආ මේ චරිතය තුළින් පියාණන් විසින් ප්‍රකාශ වන මේ වදන් තුළ ලෝකයා විසින් මැය නින්දාවට පත්කරමින් තවත් විවේචනය කරනු මම දකිමි, ප්‍රතික්ෂේප කරනු මම දකිමි, සිනාසෙන ආකාරය මම දකිමි. එවිට සමාව දෙන ලද වාර ගණන අනන්තය අප්‍රමාණය. දුගී පැල්පතකින් බොහෝ කම්කටොලු මැද ජීවත් වන්නට ගැමි පරිසරයකින් තෝරා ගන්නා ලද මේ චරිතය අද මෙලෙස ලෝකයටම හඬගා කියන්නට මට ඉඩ දී ඇත. ඇය ලෝකයා දකින සුරූපී ලලනාවක් නොවේ. නමුත් දෙවිඳුන් දකින සුවඳ හමන නිර්මල පුෂ්පයකි, ඇය, මඩ ගොහොරුවේ පිපෙන්නා වූ අලංකාරවත් මලකි, ඇය. තැනින් තැනට ගෙන ගොස් ඒ මල පිපෙනා කළ ඒ භූමිය සශ්‍රීක වන්නේය. ඇය ඉදිරියට එවන බොහෝ ජනතාවට සශ්‍රීක කාලයන් උදා වන්නේය. ඔවුන්ගේ කම්කටොලුවලට ඇහුම්කන් දෙන ස්වාමින් වහන්සේ ඔවුන්ට ආශීර්වාද වස්වන සේක. මා පරීක්ෂා කරන්නට පැමිණෙන අයට පරීක්ෂාව තුළම ගිලෙන්නට ඉඩ හරින සේක. විවේචනයන් තුළ උසුළු විසුළු කරන්නන්ට ඒ ඔස්සේම බොහෝ දුර යන්නට ඉඩ දෙන සේක. ස්වාමින් වහන්සේ ප්රාතිහාර්ය පාන්නේ නැත. නමුත් දෙවිඳුන්ගේ වදන් එලෙසම ය. මම මම වෙමි.”
“ මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, පුහු ආටෝපයන්ගෙන් රැවටී ජීවිතය අඳුරට ගුලි නොකරන්න. ලෝකයේ පෙනෙන සුන්දරත්වය තුළ ජීවත් වන්නට ආශා නොවන්න. ස්වාමින් වහන්සේගේ වදන් ඔබ වටා පැමිණෙන කල එය මෙනෙහි කරමින් ස්වර්ගීය ධන සම්පත් උරුම කර ගන්නට උත්සුක වන්න. ඔබ ඔබ දෙස බලමින් ඔබව පවිත්‍ර කර ගන්න. ලෝක ආශාවන්ගෙන් මිදෙන්න. මේ සියල්ලම හැර දමමින් ඔබගේ ශරීරය පවා පොළොව මත පතිත කරමින් ඔබගේ ජීවන හුස්ම ඔබගේ ආත්මය රැගෙන යන්නට සමිඳාණන් වහන්සේ සිය දූතයන් එවන සේක, යම් මොහොතක. එය යි, පිවිතුරු ලෙස ඔබ රැක ගත යුතු ධන සම්පත වන්නේ. එසේ නොවන්නේ නම් පාපයේ ඇලී ගැලී සිටින එකිනෙකා විවේචනය කරන, ප්‍රතික්ෂේප කරන ජනතාවට අහෝ වන විපතක මහත. ස්වාමින්වහන්සේ අපට එය පෙන්වුයේ නැතැයි, මේ ඉඟිය දුන්නේ නැතැයි දැන් ඔබට කිව නොහැක. මේ අවසාන පණිවුඩයේ දී මම ඔබට ප්‍රකාශ කරමි.”
“ මිනිසාට විවේකයක් නොමැත, ධාවන පථයක දුවන්නාක් මෙනි. මඳක් නවතින්න, ගිමන් හරින්න, ලෝකයේ සුන්දරත්වය විඳින්න, දෙවිඳුන් තුළ ප්‍රීති වන්න, ඔබ අවට සිදුවන දේ ගැන විමසිලිමත් වන්න, ඔබගේ සිතුවිල්ල දෙස මදක් හැරී බලන්න. බොහෝ ධන සම්පත් ලෝකය තුළ ඔබ ලැබුවත්, දෙවිඳුන් තුළ ඔබ දුගී දුප්පත් ය. ඔබට කිසි දෙයක් නොමැත. ලෝකය තුළ දුප්පත් වුවත් ඔබ දෙවිඳුන් තුළ පොහොසත් ය. ධනයට බලයට යට නොවන්න. මඳක් මෙනෙහි කර බලන්න, ධනය තිබුනාට මේ මොහොතේ පැමිණ තිබෙන වෛරසයෙන් ආරක්ෂා විය හැකි ද ? ධනයට බලයට ඒ කිසිවක් කළ නොහැක. දේව වරප්‍රසාදය තුළ නියැලෙන්නා ගැළවෙනු ඇත. මොකක්ද, මේ ලෝකය තුළ සිදුවෙන්නේ කියා ආත්මිකව මෙනෙහි කරන්න. ඔබ දේව ගරු බිය ඇති තැනැත්තෙක් විය යුතුමය. ඔබ දෙවිඳුන්ට ගරු කරන්නෙහි ද, පියාණන් විසින් ඔබව ආශීර්වාද කරනු ඇත. ඔබ යාච්ඤා කරන කල මහා ඝෝෂාකාරී ලෙස එය කිරීම පමණක් නොව, ඒ යාච්ඤාව විලසම ඔබගේ ජීවිතය ගෙන යාම යි ස්වර්ගීය ස්වාමින් වහන්සේ බලා සිටින්නේ. ඔබ යම් කෙනෙකුට යම් විදිහක මඟ පෙන්වීමක් දෙන කල, එය දීම සුදුසු දැයි ඔබගෙන්ම විමසන්න. මම ඒ කෙනාට දෙන මේ පණිවුඩයෙන් ඒ කෙනාගේ ජීවිතය ගළවා ගන්නට නම් මම මාව ගළවාගෙන තිබෙනවා දැයි මෙනෙහි කර බලන්න, මොහොතක් නැවතී. මා ප්‍රේමවන්ත වූ දරුවෙනී, අද මුළු ලෝකයම වෙසඟනක් වී ඇත. පිවිතුරු වී සිටින්නේ බොහෝම අල්පයකි. එම නිසා මේ මහා ගැඹුරු පණිවුඩයට හොඳින් ඇහුම්කන් දෙන්න. ගත යුතු දේ ගන්න. ජීවමාන වූ ස්වාමින් වහන්සේ සමඟ ඉදිරියට එන්නට තීරණය කරන්න. පුහු ආටෝපයන් සමඟ ජීවත් නොවන්න. එකිනෙකා ගේ දුර්වලකම් දැක එය විවේචනය නොකරන්න. ඔබට හැකි නම් ඔවුන් ගළවාගන්නට උර දෙන්න. සමාව දෙන්න. යමෙක් ගැන යම් අඳුරක් සිත් තුළ තබාගෙන ඔහුට හෝ ඇයට වෛර කරන්නේ නම් සමාව දී ගන්නට බැරි නම්, ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබ දෙවිඳුන් මග යන දේව දරුවෙක් නොවන්නෙහිය, ස්වර්ගීය ධන සම්පත් උරුමකර නොගන්නෙහිය.”
“ මහා බලසම්පන්න වූ බල පරාක්‍රම දෙවි සමිඳුන් වන මම මේ මොහොතේ වැඩම කොට ඔබ සෑම සියලු දෙනාටම එක ලෙස ප්‍රේම කරමින් එකම ආගමකටවත් සීමා නොකරමින් සියලුම ජනතාවට ප්‍රේම කරන දෙවි මහෝත්තමයාණන්ගේ පණිවුඩය යි, මෙය. ඔබ මොන දහමක ජීවත් වුනත් දැහැමි ලෙස ධර්මානුකූලව ජීවත් වන්න, කිසිම දහමකට කොටු නොවන්න, ඔබගේ නිදහස යහපත් ලෙස භුක්ති විඳින්න. දෙවිඳුන්ගේ රැකවරණය තුළ ඔබව සීමා කරමින් ආරක්ෂා කරනු ඇත. දෙවිඳුන්ට ඇහුම්කන් දෙන්න. ස්වර්ගීය ධන සම්පත් උරුම කර ගන්නට ආශා කරන්න. මා දෙන පණිවුඩය මෙය යි, ප්‍රේමවන්ත වූ දරුවෙනී. පියෙක් තම දූ දරුවන්ට තරවටු කරන්නේ තරහකට නොවේ, ඔවුන් හදා ගැනීමට යි, අසීමිත වූ ආදරයක් නිස යි. ඒ පියාටත් වඩා දෙවි පියාණන්ගේ ආදරය අතී විශාල යි. ඉතින් මා ප්‍රේමවන්ත ජනතාවෙනී, සියලු දරුවෙනී, මම ඔබ සැමට ප්‍රේම කරමි. අසීමිත ලෙස ආදරය කරමි. එම නිසා නැවත මම ඔබට කියමි, අවදි වන්න. කාලය භයානක වී ඇත. ජීවිතය දෙස ආපසු හැරී බලන්න. ජීවිතය හදා ගන්නට උත්සාහ කරන්න. එය යි, මගෙන් ලද පණිවුඩය. නැවත පියාණන් විසින් අණ කරන විට මම ඔබ වෙත පැමිනෙමි. පියාණන් ද පුත්‍රයාණන් ද ශුද්ධාත්මයාණන් ද වන මම ඔබ ආශීර්වාද කරමි, දේව වරප්‍රසාදයෙන් පූර්ණ කරමි. ආමෙන්.
මා,
ඔබගේ ගැළවුම්කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස්.